- therovingnomads
රාජස්ථානයේ ජායීපූර් නුවර සොයා - 02 කොටස
Updated: May 16, 2020

අපි මීට පෙර ලිවූ අපේ බ්ලොග් සටහනේ නැවතුම වූයේ හවා මහල් ගොඩනැගිල්ලෙන් අනතුරුව අපූරු ජන්තර් මන්තර් සංකීර්ණය වෙත යන ගමනයි. ඔබට මීට පලකර තිබූ ලිපිය මෙතනින් කියවන්න පුලුවන් . අපි ඉතින් එතැන් සිට අපගේ සංචාරක සටහන් වෙත යොමුවෙමු.
රාජස්ථානයේ ජායිපූර් නගරයේ ජන්තර් මන්තර් ස්මාරකය වාස්තු විද්‍යාත්මක හා තාරකා විද්‍යාත්මක උපකරණ දහනවයක් සහිත නක්ෂශ්ත්‍ර විද්‍යාවට වෙන්වූ සංකීර්ණයක්. ඒ වගේම මෙම ජන්තර් මන්තර් නිරීක්ෂණාගාරය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්.ජන්තර් මන්තර් සංකීර්ණය පිහිටා තිබෙන්නේ ජායිපූර් මාළිගාව සහ හවා මහල් ගොඩනැගිල්ල අසල යි.

ඇතුල්වීමේ ගාස්තුව එරට සංචාරකයන් සඳහා ඉන්දීය රුපියල් 50 ක් සහ විදේශිකයින් සඳහා ඉන්දීය රුපියල් 200 ක් වනවා.අපි දෙන්නම රූපෙන් ඉන්දියානු වගේ පෙනුන නිසා ඉස්සෙල්ලම ඇතුල්වීමේ ගේට්ටිවේ සිටපු කාර්ය මණ්ඩලය අපව යොමු කලේ එරට සංචාරකයන් ගේ ප්‍රවේශපත්‍ර කවුලුවටයි. එත් අපි නිවැරදි විදිහට විදේශ සංචාරක ප්‍රවේශපත්‍රයක් ලබාගත්තේ එතන සිටන කාර්යමණ්ඩලයේ මුවගට සිනාවක් ගෙන දෙමින්. අපි කොයි රටේද කියා ඔවුන්ට නිශ්චිතව කියාගන්න බැරි උන අතර අපි ලංකාවේ කීවාම "අහ් !! රාවන් කී දේශ්!! " කියා කිවේ ලංකාව හොදහැටියකට දන්න කට්ටිය වගේ. මුළු ඉන්දීය සංචාරය පුරාම අපිට "රාවණා දේශයෙන් බට මිනිස්සු" කියල කියන එක හුරුපුරුදු දෙයක් උනා - ඒ වගේම රාමායණය කොච්චර ඉන්දීය ජනසමාජය තුල කිදා බැහැල කියන දේ අපි සැබවින්ම අත්වින්දා.
ජායිපූර්හි මුළු ජන්තර් මන්තර් සංකීර්ණය සාමාන්‍යයෙන් කෙනෙකුට මිනිත්තු 30 ත් 45 ත් අතර කාලයක් තුළ දැක ගත හැකියි .එය 1734 දී නිම කරන ලද්දේ දෙවන රාජ්පුත් රජතුමා වන සවායි ජේ සිං විසින්. මෙතුමා ජයිපූර් නගරයේ නිර්මාතෘද වෙනවා .ඔහු ජායිපූර්, මතුරා, දිල්ලි, උජ්ජයින් සහ වරනාසි යන නගරවල එවැනි නිරීක්ෂණාගාර 5 ක් ඉදි කළේය. ජායිපූර්හි වල ඇත්තේ ඒ සියලුම ස්ථාන අතුරෙන් විශාලම සංකීර්ණයයි.

මෙම ස්මාරකයේ නිර්මාණය කල උපකරණ සමුහය සාදා ඇත්තේ ගඩොලින් ,ගල් වලින් හා පිත්තල වැනි අමුද්‍රව්‍ය යොදා ,ජ්‍යොතිෂ විද්‍යාවට අනුකූලවයි . එසේම ඒවා ඉදිකිරීමේදී පුරාණ හින්දු සංස්කෘත ග්‍රන්ථවල තාරකා විද්‍යාව සහ උපකරණ සැලසුම් කිරීමේ මූලධර්ම භාවිතා කරමින් සිදුකල බව පැවසෙනවා. මෙම උපකරණ වල මුලික අරමුණ පියවි ඇසින් තාරකා විද්‍යාත්මක ස්ථාන නිරීක්ෂණය කිරීමට ඉඩ ලබා දීමයි - මෙම ලබාගත් නිරීක්ෂණ ඇසුරෙන් තාරකා විද්‍යාත්මක වගු සම්පාදනය කිරීම සහ සූර්යයා, චන්ද්‍රයා සහ ග්‍රහලෝකවල වේලාවන් සහ චලනයන් පුරෝකථනය කිරීම සිදුකර තිබෙනවා . එතුලින් වඩාත්ම නිරවද්‍ය නක්ෂත්ර හා තාරකා විද්‍යාත්මක අනාවැකි ලදාගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ඉතා ඉහල අගයක් සහිතවයි .
මෙම ස්මාරකය තුලින් 18 වන සියවසේ ඉන්දියාවේ විවිධ ආගමික හා සමාජ විශ්වාසයන්ගෙන් අදහස් ද ප්‍රදර්ශනය වෙනවා.
සංකීර්ණයේ ඔබ මොබ ගමන් කල අපහට වඩාත් සිත්ගියේ එහි පවතින දැවැන්ත ස්මරත් යන්ත්රයටයි. වර්හාත් ස්මරත් යන්ත්‍රය යනු දැවැන්ත හිරුතැටියක් වන අතර එය ජන්තර් මන්තර් නිරීක්ෂණාගාරයේ මධ්‍යයේ පවතිනවා .
මුලින්ම අපිට මෙම මෙවලම මොකක්ද කියා හරිහැටි තේරුම් ගියේ නැහැ. අපි ඉස්සෙල්ලම දැක්කේ ලොකු ත්‍රිකෝණාකාර බිත්තියක් - මැද උඩටම යන්න පඩිපෙලකුත් එක්ක. ටික වෙලාවක් ගියාම තමයි තේරුනේ මේ තට්ටු පහක් උස "බිත්තිය" හිරුතැටියේ තියෙන මැද කොටස කියලා . එතකොට තමයි උපකරණයේ සැබෑ පරිමාණය තේරුම් ගියේ.

මේ උපකරණ ලගටම ගිහින් බලන්න පුළුවන්. අපි ඇත්තටම උස මැද කොටසින් පතිත වන සෙවනැල්ල හෙමින් හෙමින් යන්ත්‍රයේ අතක් දිගේ යන හැටි බලා සිටියේ බොහොම කුතුහලයකින්. ඇත්තෙන්ම ‘උත්තරීතර මෙවලම’ ලෙස පරිවර්ථනය කරන සමරත් යන්ත්‍රය තත්පර දෙකක නිරවද්‍යතාව දක්වා කාලය මනිනවා කියන දේ සිතුවාම ඕනෑම කෙනෙක් පුදුම වෙන්නේ නොඅනුමානයෙන් .
ස්මරත් යන්තයට අමතරව තවත් විශාල හා කුඩා උපකරණ විශාල ප්‍රමාණයක් මෙම භුමිය තුල දැකගත හැකියි. මේ අතර ලඝු ස්මාරත් යන්ත්‍රය , රාම් යන්ත්‍රය , ජය ප්‍රකාශ් යන්ත්‍රය , චක්‍ර යන්ත්‍රය සැබවින්ම නැරඹිය යුතු යි. ඒ වගේම ජන්තර් මන්තර් සංකීර්ණයේ දැකිය යුතු තවත් විශේෂිත මෙවලමක්/උපකරණයක් වන්නේ දීගම්සා ය. එය පිටත කව දෙකක් මැද ඇති කණුවක් වන අතර එය දිනකට හිරු උදාව සහ හිරු බැස යන වේලාවන් පිළිබධව වඩා නිවැරදි අනාවැකි පල කිරීමට උපකාරී වී තිබෙනවා .

ජන්තර් මන්තර් සංකීර්ණය ගවේෂණය කිරීමෙන් පසු අපි ඇල්බට් හෝල් කෞතුකාගාරය නැරඹීමට තීරණය කළා . ඒ වන විටත් ගොඩක් සවස් වෙලා තිබුණ නිසා මුලින්ම පා ගමනින් එතැනට යන්න සිතුවත්, අපි අවසානයේ ගියේ පාරේ ගියපු කුඩා කුලී රථයකින් - ඒක අපිට හුරුපුරුදු ත්‍රීරෝද රථයකට වඩා වෙනස්, කෑලි බෑලි හැලෙන එත් රෝද තුනක් මත යන වාහනයක්. සිට් එක හරිම පුංචියි . කොහොමහරි ඉඩ හදාගෙන අපි අපේ "ත්‍රීරෝද රථයේ " නැගී පැද්දි පැද්දි ,ගැස්සී ගැස්සී ඇල්බට් ශාලාව කරා ගියා .
ඇල්බට් ශාලාව නම් කර ඇත්තේ ඇල්බට් සාමිවරයා සිහිගන්විමටයි - මේ නම ඇතුලෙත් අපුරු අතුරු කතාවක් අන්තර්ගතයි .ජයපූර් ‘රෝස නගරය’ ලෙස හැඳින්වෙන්නේ මුළු නගරයම රෝස පැහැයෙන් වර්ණාලේප කර ඇති බැවින් . වේල්ස් කුමරු සහ වික්ටෝරියා රැජින 1876 දී සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ ඇති අතර , ඔවුන් පිළිගැනීම සඳහා එවකට ජයපූර්හි පාලකයා වූ මහාරාජා රාම් සිං මුළු නගරයම ඔවුන් රෝස පැහැයෙන් වර්ණ ගන්වන ලැබුවා . ඒ ආගන්තුක සත්කාරයේ වර්ණය ලෙස " රෝස පැහැය" සැලකුණ නිසා.
එත් ඇත්තටම අද නගරයේ තියෙන්නේ වඩාත් තැබිලි පැහැයට හුරු ගුරු පාටක්.

ඒ හේතුව නිසා ම ජයපූර් ‘රෝස (පැහැ) නගරයක්’ ලෙස ඇල්බට් සාමිවරයා විසින් හදුන්වනු ලැබුවා. මේ අන්වර්ථ නාමය අද දක්වාම භාවිත වෙනවා.
ඇල්බට් ශාලාවට යන ගමන අපට නගරයේ මාර්ග තත්වයන් පිළිබඳ අපගේ පළමු අදහස ලබා දුන්නා. වීදි පටු වූ අතර ගමනාගමනය සියලු වර්ගවල මෝටර් වාහන , නානාප්‍රකාර හැඩයෙන් යුතු ත්‍රිරෝද රථ, බයිසිකල් සහ සත්ව කරත්ත වලින් සමන්විත විය. වර්ණවත් බිත්තිවලින් දෙපස ආවරණව තිබූ වීදි කිහිපයක් ඔස්සේ ගමන් කල අප විශාල දොරටු කිහිපයක් ඇතුලතින් ගමන් කළෙමු. මෙම පවුරු හා දැවැන්ත ගේට්ටු ජායිපූර් නගරයේ පිටතත් ,ඇතුළු නගරයත් වෙන්කළ බව අපිට වටහාගත හැකි විය.

තදබදය අධික විය. විශේෂයෙන් ඉදිරියට යනවිට හමුවූ වටරවුම දිගේ- නවීන මෝටර් රථ, ලොරි බයිසිකල් සහ වෑන් රථ අතර, උසම උස ඔටු කරත්තයක් දෙකක් හා කොටළුවෝ කිහිප දෙනෙකු මත ගමන් කරන කට්ටියක් දුටුවම අපි දෙදෙනාටම සිනහවක් ආවේ ඉබේටමයි. හැමෝටම ඕනි වෙලා තිබ්බේ වටරවුමෙන් හරවන්න ,එත් ක්‍රමානුකුලව මාර්ග නීති වලට අවනතව වාහන හෝ සත්තු හසුරනවට වඩා හැමෝම එක ගොන්නට ගහින් මහා ජංජාලයක් බවට පත්වී තිබ්බා.


ඒ මැද්දේ හිරවී සිටපු අපිට අමතක නොවෙන ජවනිකා කීපයක් බලාගන්නත් අවස්ථාව ආවා - වටරවුමේ මැද හිටියේ බහුතරයක් මෝටර් බයිසිකල් කරුවන්. ඒ කීපදෙනෙක් අතරට බඩු පටවගත්ත කොටළුවෝ දෙන්නා ගිහින් කලබල වෙලා - උන් එහෙ මෙහෙ දගලන නිසා බයිසිකල් පෙරලෙන්න ගිහින් එකම එක යුද්ධයයි. පැත්තකින් ලොරි කාරයෝ ,කාර් කාරයෝ එකාට එකා කෑ ගහගන්නවා . අනික් පැත්තෙන් සත්තු හසුරන කරත්තකාරයෝ , එහෙන් මෙහෙන් රිංගන බයිසිකල් ,ස්කුටර් එක්ක මහා කළබගෑනියක් .කෝපාවිෂ්ට වචන කිහිපයක් එහා මෙහා යන යනවා ,ඒ අස්සේ ත්‍රිවිල් රියදුරු මහත්තුරු අතින් පයින් කටින් සංඥා කරනවා. "හේ බායි , ගාඩි අන්දර් චල් " ( මේ අයියා , වාහනේ අරහෙට ගනින් ) වදන් අතර, උඩින් යටින් අමු තිත්ත කෝපාවිෂ්ඨ කුන්හරුප ටිකකුත් හුවමාරු උනා කිවහොත් නිවරදියි. එත් මේ ගාලගෝටිය අස්සේ හිටපු ඔටුවෝ දෙදෙනා කිසිම දෙයක් ගණන් නොගෙන තමන් පාඩුවේ හිටියේ මේ මොන විකාරයක් ද කියලා හිතනවා වගේ.
කෙසේ හෝ අප එතනින් ගැලවී අප ගමනාන්තය වෙත ආවේ රියදුරු මහතාගේ දක්ෂතාවය නිසාද නැතහොත් අසහාය වාසනාව නිසාද කියා අප අදටත් දන්නේ නැත.

ඇල්බට් හෝල් ( ශාලාව) සමහර විට ජයිපූර් නගරයේ ඇති වඩාත්ම අලංකාර හා පෙනුමෙන් අනෙක් ගොඩනැගිලි වලට වෙනස් සිත් ඇදගන්නා සුළු ගොඩනැගිල්ලක් බවට පැවසිය හැකියි . මෙය මහාරාජා රාම් සිං විසින් 1876 දී එංගලන්තයේ ඇල්බට් කුමරු සිය ඉන්දීය සංචාරයේදී ජයපූර් වෙත පැමිණෙන බව සහතික කිරීම සඳහාම ඉදිකරන ලද විශාල ප්‍රසංග ශාලාවක් .

මහාරාජා තුමා මෙම ගොඩනැගිල්ලේ මුල්ගල තැබීමට ඇල්බට් කුමරුට ආරාධනා කර තිබු අතර - එය වේල්ස් කුමරු සහ වික්ටෝරියා රැජින ජයිපූර් වෙත සංචාරය කිරීම සහතික කළ දෙයක් වුවා .ඇල්බට් කුමරු විසින් ඔහුගේ නමින් නම් කරන ලද මෙම ගොඩනැගිල්ලේ පළමු ගල චාරිත්‍රානුකූලව තැබූ අතර උත්සවය 1876 පෙබරවාරි 6 වන දින සිදු විය. මෙම සංකීර්ණය වසර 10 කට පසුව දෙවන මාධෝ සිංගේ පාලන සමයේදී නිම කරන ලදී.
අද ඇල්බට් ශාලාව ජයපූර් ඇල්බට් හෝල් කෞතුකාගාරය (මධ්‍යම කෞතුකාගාරය) බවට පරිවර්තනය කර තිබෙන අතර එය ජයපූර් ඉතිහාසයේ කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීමට වෙන්වී තිබෙනවා.
ජයිපූර්හි ඇල්බට් ශාලාවේ ප්‍රධාන ආකර්ෂණය වන්නේ ගොඩනැගිල්ලමයි. ඇත්තෙන්ම එය අප ඇල්බට් හෝල් වෙත පැමිණීමේ ප්‍රධානම් හේතුව වුණා. එය අලංකාර ගෝලාකාර කොත් හා කැටයම් කළ ආරුක්කු වලින් නිමවා තිබෙනවා .ගෘහ නිර්මාණ ශෛලිය අරාබි සහ ඉන්දියානු සංකලනයක්.

අපි ඇල්බට් ශාලාවට එන විට එය විවෘතව තිබෙන කාලය අවසන් වීමට ඉතා ආසන්න වී තිබුන හෙයින් (විවෘතව පවතින්නේ සතියේ දින හතේම උදේ 9.00 සිට සවස 5.00 දක්වා) අපි ඇල්බට් ශාලාවේ ඉදිරිපස ගවේෂණය කළා. සවස අහස හමුවේ ගොඩනැගිල්ලේ මුහුණුවර ඉතා අලංකාර බවක් ගෙන දුන්නා .
කෞතුකාගාරය වටා අශ්වයන් සහ අශ්ව කරත්ත රාශියක් තිබුණි. සතුන් අලංකාර ලෙස සරසා තිබුනු අතර , අශ්වයන් මත හෝ අශ්ව කරත්තයක් මත යාමට එතන සිටි බොහෝ දෙනෙක් ඇරයුම් කලත් , අපි කිසිදු ඒසේ සතකු පිට නොගියේ අපි සත්ව හිංසනය කිසි ලෙසකින් අනුබල නොදෙනවා යන ප්‍රතිපත්තිය මත සිටි නිසයි.

අපි ඇල්බට් ශාලාවේ සිටියදී දුටු එක් ප්‍රධාන කරුණක් වූයේ පරවියන්ගේ සුලභතාවයි . ඔවුන් නගරයේ සෑම විවෘත වීදියක් ගානේම සිටින බවක් පෙනෙන්නට තිබුණා ; අපට විශාල පරෙවි රංචු සෑම තැනකම පාහේ ඒවා සොයාගත හැකිවුනා . මේක අපි මුලින්ම අත්වින්දේ ඇල්බට් ශාලාව ඉදිරිපිටයි.
කුඩා කලබලයකින් පවා තැතිගෙන පියාබන පරවියන් රංචුවක් ඈත සිට බලන විට මහත් ආශ්වාද ජනක වුනත් අපි ඉක්මනින් ඉගෙනගත් දෙයක් වූනේ කලබල වී පරවියන් ඉගෙලෙනකොට , ඔබ ඒ අසල ඉන්නවනම් ටිකක් සිහියෙන් සිටිය යුතුයි කියන දේයයි. අපි ඒ අසල ඉන්නවිටදීත් කුඩා ළමුන් වගේම වැඩිහිටියන් කීපදෙනෙකු පරවියන් පස්සේ එලවන එක සුලභ දසුනක් උන අතර - සී සී කඩ ඉගිලෙන පරවියන් අසල සිටි කීපදෙනෙක්ගෙ ඇගේ ගැටීම නොවැලක්විය හැකි දෙයක් වුනා.

අපි ඇල්බට් ශාලාවේ එතරම් කාලයක් රැඳී සිටියේ නැහැ , හිරු බැස යෑමත් සමඟ අපට නැවත අපගේ හෝටලයට යාමට සිත්වූයේ පසුදින උදැසනම තවත් ස්ථාන කීපයක්ම නරබන්නට අපේ න්යායපත්රයේ තිබුන නිසා . ඒ නිසා අපි අසලම ටැක්සි රියදුරෙකු සමඟ මිලක් නියම කර ආපසු අපි හෝටලය වෙත ගමන් කළා.
අපි හිතනවා මෙතෙක් පළවූ ලිපි කිහිපය ඔබට ප්‍රයෝජනවත් හා රසවත් වුනා කියලා . එසේම මම අපේ පළමු රාත්‍රී භෝජන සංග්‍රහය ගැන ඊලග ලිපියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා . ඒ වගේම හවා මහල් නැරඹීම සඳහා හොඳම කැෆේ තෝරා ගන්නේ කෙසේද යන්න ගැනද සටහනක් තබන්නම් .
ඊළඟ බ්ලොග් සටහන තුලින් නැවත හමුවෙමු!