• therovingnomads

නාරංගල කන්ද මත තරු පිරි රාත්‍රියක්.

Updated: May 18



අද අපි සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නාරංගල තරණය කරන්නේ කෙසේද කියලා. ලංකාවේ කඳු නගින ඕනම කෙනෙක්ම පාහේ නාරංගල කිව්වම අනිවාර්යෙන්ම මොන මූලාශ්‍රයකින් හෝ අසා දැන තිබෙනවා . ඒ තරම්ම නාරංගල හරිම ප්‍රසිද්ධයි .නාරංගල ඇති එක්තරා විශේෂත්වයක් වන්නේ ගුවන් යානයකින් ගමන් කරන විට පහල වළාකුළු තට්ටුවක් දිස් වෙන අයුරින්ම , කන්ද ඉහළට ගොස් උදෑසන කාලයේදී එවැනි දර්ශනයක් දැක ගැනීමට හැකියාවක් තිබීමයි .

නාරංගල යනු ඌව පළාතේ 6 වන උසම කඳු මුදුනයි.

නාරංගල පිහිටා ඇත්තේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කීකැලේ ගම්මානය ආශ්‍රිතවයි. මේ ගමට යෑමට මාර්ග කීපයක් තිබෙනවා ,ඒත් බොහෝවිට පාවිච්චි වෙන්නේ හාලිඇල නගරයටයෙන් කන්දෙගෙදර නගරය වෙතට පැමිණීමෙන් අනතුරුව කීනකැලේ ගම කරා දිවෙන මාර්ගයයි .



ඇත්තටම නාරංගල සාමාන්‍යයෙන් කඳු නගින්නන් තරණය කරන කඳු සහ කඳු පන්ති වලින් යම්තාක් දුරකට හුදෙකලාව පවතිනවා කියලා කියන්න පුළුවන්.බදුල්ල ඒ වගේම නමුණුකුල වගේ කඳු පන්ති වලට සාපේක්ෂව ලංව පවතින නාරංගල, ඌව පළාතේ හයවෙනි උසම කන්ද වනවා.


බොහෝ දෙනෙක් සිතා ගෙන ඉන්නේ නමුණුකුල ඌව පළාතේ උසම කන්ද කියා,එනමුත් එහි සැබෑ හිමිකාරීත්වය සතු වන්නේ උඩවේරිය පළවෙනි කඳු මුදුනටයි.එය මුහුදු මට්ටමේ සිට මීටර් 2060 උසින් පවතිනවා. 6 වෙනි තැනට සිටින නාරංගල කන්දේ උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර් 1527 වන අතරම උඩවේරිය සහ නමුණුකුල හා සැසඳීමේ දී එතරම් උසක් නොමැති උනත් හුදෙකලාව (තනි කන්දක්) විදිහට පවතින නිසා එය නැගීමේදී සිතෙන්නේ වඩාත් ඉහල ස්ථානයක ඉන්නවා වැනි හැඟීමක්. සැබැවින්ම කන්ද ඉහලට නගින විට මීදුම හා හමනා තද සුළං හමුවේ ඔබට දැනෙන්නේ වෙනත්ම දේශගුණයක් සහිත ප්‍රදේශයකට පැමිණ ඇති බවකුයි .



ඉතින් මෙම බ්ලොග් ලිපියෙන් අප ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නාරංගල තරණය කිරීමේ දී ඔබ සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුණු දහයක් ගැනයි . කෙසේද අප නාරංගල වෙත ළඟා වන්නේ ? මුලින් දක්වා ඇති ආකාරයට ,නාරංගල පිහිටා ඇත්තේ කීනකැලේ ගම්මානය අසලයි.එම නිසා ඔබට ප්‍රථමයෙන් කීනකැලේ ගම්මානය වෙත යා යුතු යි .ගම්මානය ප්‍රධාන නගර වලින් යම් තරමක් ඈතින් පවතින නිසා ඔබට පෞද්ගලික වාහනයක් තිබෙනවා නම් එය කරා ගමන් කිරීම වඩාත් පහසු වනවා . නැතහොත් ඔබ පොදු ප්‍රවාහන සේවා යොදා ගන්නවා නම් ප්‍රථමයෙන් බදුල්ල නගරයට පැමිණිය යුතුයි . එතනින් “කීනකැලේ” හෝ “ගලඋඩ” ගම්මානය කරා යන බස් රථයක් මත නැගී අදාළ ගමනාන්තයට ළඟා විය හැකියි .

ඔබ කොළඹ සිට පෞද්ගලික වාහනයක පැමිණෙනවා නම් , ප්‍රථමයෙන් හාලිඇල නගරයට ගොස් එතනින් කන්දෙ ගෙදර නගරයටත්, එතනින් නැවත කීනකැලේ ගම්මානය වෙතටත් ගමන් කළ යුතු වෙනවා.ඔබ කොළඹ සිට ගමනාරම්භ කරන්නේ උදෑසන ම නම් (උදේ හතරට පමණ නම් ) ගමනාන්තයට දහවල් කාලය වන විට ළඟා වෙන්න පුළුවන් .මොකද මෙම ගමනට ම පැය හයක් හතක් ගත වන නිසා . කීනකැලේ ගම්මානයට පැමිණි විට ඔබට ඔබගේ වාහනය නවත්වීමට එහි ගම් වැසියන් විසින් ම සකසන ලද රථ ගාලක් තිබෙනවා. ඒත් රථ ගාල කරා යන මාර්ගය යම්තාක් දුරකට අබලන් ,ඒ නිසා උසින් අඩු (ground clearance )වාහනයක යනවා නම් එය යට වැදීමට ඇති අවදානම වැඩියි . නාරංගල කන්ද නැගීමට ඇත්තේ එක පාරක් ද?


ඇත්තෙන්ම නාරංගල මුදුනට යෑමට මාර්ග දෙකක් පමණ පවතිනවා .මෙයින් වඩාත් ලෙහෙසි මාර්ගය වන්නේ කීනකැලේ ගම්මානය හරහා වැටී ඇති මාර්ගයයි .එය ලෙහෙසි සහ නැගීමට කෙටිම දුරක් සහිතව පවතිනවා .ඇත්තෙන්ම අම මාර්ගයේ ආරම්භයේ සිට මුදුනට ඇති සම්පින්න දුර ප්‍රමාණය කිලෝමීටර් 1.6 පමණ වෙනවා

ඔබට මුදුනට යාහැකි අනෙක් මාර්ගයේ ආරම්භය පවතින්නේ කීනකැලේ ගමට යාමට මත්තෙන් හමුවන තංග්මලේ හින්දු කෝවිල අසලින් .මේ මාර්ගය වැටී තිබෙන්නේ තරමක් අසීරු ලදු කැලෑ තුළින් . වාහන එක ගමන් ගන්නවා නම් වාහනේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වියයුතු නිසා වඩාත් හොඳම තේරීම කීනකැලේ ගම මාර්ගයෙන් යාමයි -මොකද ඒ තුළින් ඔබේ වාහනයට වඩා ආරක්ෂාවක් පවතින නිසා.


කන්ද මුදුනේ වතුර තිබෙනවා ද ? නාරංගල මුදුනේ වතුර මූලාශ්‍රයක් ඇත්තේ නැහැ .ඔබට අවශ්‍ය කරන සියලු ම ජලය, එන විට ගෙන ආ යුතු යි.සාමාන්‍යයෙන් එක් රාත්‍රියක කඳවුරු බැඳීම සඳහා එක් පුද්ගලයෙකුට ලීටර් තුනක් පමණ වතුර ප්‍රමාණයක් ප්‍රමාණවත් .


නාරංගල ගම තුළදීම ඔබට ජලය හා අවශ්‍ය ආහාර පාන ආහාර පාන ලබා ගැනීමේ හැකියාව පවතිනවා .ඒ එහි පවතින කුඩා වෙළඳ සැල ට අමතරව ගම්වාසීන් කිහිප දෙනෙක් සංචාරකයන් ට අවශ්‍ය ආහාර පාන හා පහසුකම් ලබා දීමට ඉදිරිපත් වන නිසා . නාරංගල තරණය කිරීමට වඩාත් ම සුදුසු කාලය කුමක්ද ? සංචාරය කළ හැකි හොඳම කාලය වසරේ වියළි මාස වලයි .එයට හේතුව වන්නේ හේතුව වන්නේ වර්ෂාව සහ අධික සුළං වලින් වන බලපෑම අවම කරගැනීමයි. පෙබරවාරි සිට අප්‍රේල් දක්වා සහ මැයි සිට ඔක්තෝබර් දක්වා මාස තුල කාලගුණය සාපේක්ෂව හොඳ මට්ටමක පවතින නිසා මෙම කාලවකවානුව තුල සංචාරය කිරීම වඩාත් සුදුසු ය.


කෙසේ නමුත් ඔබ යෑමට සූදානම් කරන කාලයේදී එහි පවතින කාලගුණය පිළිබඳ දළ අදහසක් ලබා ගැනීමට Accuweather වැනි කාලගුණික යෙදුමක් හෝ ඒ අවට සිටින කෙනෙක් ගෙන් පවතින කාලගුණය පිළිබඳ ව පිළිබඳ ව දැන අසා ගැනීම වඩාත් නුවණට හුරුයි . කාලය පිළිබඳ සැලකීමේ දී තවත් කරුණක් සිතට ගත යුතුයි .එනම් සති අන්ත දිනවල හා අනෙකුත් රජයේ නිවාඩු දින වල බොහෝ විට නාරංගල සංචාරකයන්ගෙන් පිරී පැවතීමේ ඉඩකඩ පැවතීමයි .ඉතින් වඩාත් හොඳ ම විකල්පයක් වන්නේ සිකුරාදා වැනි දිනක එහි කඳවුරු බැඳීමයි .අපද මෙලෙස කඳවුරු බැන්දේ සිකුරාදා දිනයක නිසා කිසිම කෙනෙක්ගෙන් තොරව හුදෙකලා ව කඳුමුදුන මත රාත්‍රිය ගත කිරීමේ අවස්ථාව අපට උදා වුණා . ඉහලට යන මාර්ගය තරණය කිරීම අපහසු ද ?

ඕනෑම කන්දක් තරණය කරනවා මෙන්ම මෙම කන්ද තරණය කිරීමටත් හොද ශාරීරික හා මානසික යෝග්‍යතාවයක් අවශ්‍යයි.

කීනකැලේ ගම්මානයේ සිට නාරංගල මුදුනට යන මාර්ගය සාපේක්ෂව කෙටි වුවත් ,කෙටි දුරකදී සීඝ්‍ර ලෙස උන්නතාංශය වෙනවා.විශේෂයෙන්ම ඔබට මාර්ගයේ දී ඉතා දළ බෑවුම් සහිත කොටස් වලට මුහුණ දීමට සිදුවනවා.ඉතින් මේ මාර්ග කොටස් වලදී සීරුවෙන් අඩිය තබා යෑමට වග බලා ගත යුතුයි.


මුල්ම කොටසේ ඇත්තේ තේ වත්තක් මැදින් ඉහළට යාමටයි .මෙම කොටසේ ඇත්තටම ගමන් කරන්නේ ගල් ඇතුරූ කානුවක් වැනි පඩිපෙළක් මත්‍යි.මෙහි විශාල වශයෙන් ලිහිල් ගල් පවතින බැවින් ඉතා සීරුවෙන් අඩිය තබා යෑම ඉතාමත් වැදගත් වේ . එමෙන්ම කුඩා අඩිපාරක් වන මාර්ගයේ යම් යම් ස්ථානවල එක් අන්තයක් දළ බෑවුමට සෘජුවම නිරාවරණය වී පවතින නිසා ප්‍රවේශමෙන් සෙමෙන් ගමන් කළ යුතු වේ .මෙවැනි ස්ථාන කිහිපයක ගමන් කිරීමේ පහසුව සඳහා කන්ද පැත්තට වන්නට යකඩ බට කිහිපයක් යොදා තිබෙන නිසා ,ඒවා අල්ලා ගෙන සෙමෙන් ඉහළට යෑමට අවස්ථාව සැලසේනවා .එමෙන්ම ඉහලට යාමේදී යාමේදි සැලකිලිමත් විය යුතු තවත් කරුණක් වන්නේ අධික සුළඟයි.


ඔබට කදු තරණය කිරීමට හොඳ පාවහන් යුගලක් තිබීම වඩාත් හොදයි. එසේම කදු තරණය කිරීමට පෙර ඔබගේ පාද වල නියපොතු හොඳින් කපා තිබිම තුලින් බැවුම් හරහා යාමේදී වඩාත් පහසු වනවා.

ඔබ උණුසුමින් තබා ගැනීමට අවශ්‍ය ඇඳුම් රැගෙන යන්න

නාරංගල කඳු මුදුනේ රාත්‍රීන් සැබැවින්ම සීතල විය හැකි අතර මීදුම සහ සුළඟ උතුරු දිශාවෙන්, එනම් කන්ද මුදුනේ දිශාව සිට ඔබ කරා පැමිණේ .මීදුම සාමාන්‍යයෙන් සවස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය වන තුරු පවතින්නේ තද සුළං ද සමඟිනි. මෙම මීදුම නිසා ඔබගේ සියලුම ආම්පන්න තෙතබරිත වීමේ අවකාශය ඉතා වැඩි ය.




එබැවින් ඔබගේ ඉලෙක්ට්‍රොනික උපකරණ ආරක්ෂාකාරීව තබා ගැනීමට යොමු විය යුතුය; විශේෂයෙන් ම කැමරා ආම්පන්න .මීදුම සහිත කාලයේ දී ඔබ කූඩාරමෙන් පිටත ඔබ මොබ සැරිසරනවානම් නිසැකවම ඔබ තෙත බරිත වනවා නොඅනුමානයි .එමෙන්ම සීතල අධික බැවින් මේ හා අත් මේස් කීපයක් ඔබ ළඟ තබාගැනීම නුවනට හුරුයි.

රාත්‍රී කාලය ගත ගත කිරීමට ගිනිමැලයක් දැල්වීම . කඳුමුදුනේ ඉහළ ප්‍රදේශය විශාල ගස් වලින් තොර හිස් භූමියක් වන අතර ඇත්තේ යම්තාක් උසකට වැඩී තිබෙන තණකොළ හා කෙටි පඳුරු විශේෂ කීපයක්. එම නිසා ඔබට කදවුර ගිනිමැලයක් ගැසීමට අවශ්‍ය දර පහල සිටම රැගෙන ආ යුතු වෙනවා . මතකතබාගත යුතු කරුණක් වන්නේ කන්ද මුදුන ආශ්‍රයෙන් ඇති කුඩා කැලෑවට කිසිම ආකාරයේ හානියක් නොකිරීමයි .විශේෂයෙන් ම දර ලබා ගැනීම සඳහා මෙම ගස් කැපීමෙන් වළකින්න .ඔබට අවශ්‍ය දර පහල සිට ම රැගෙන එන්න .


රාත්‍රී කාලයේ දී ගිනිමැලය දල්වන විට ඒ තුළින් නැගෙන ගිනි අඟුරු අධික සුළං හේතුවෙන් අවට තණකොළ කරා යා හැකි අවදානමක් පවතිනවා. නමුත් බොහෝ විට මීදුම නිසා එම තණකොළ තෙත්ව පවතින නිසා දැන් ගින්නක අවදානම අඩු අගයක පවතිනවා .ඒත් ඔබ ගිනිමැලය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුමයි .


ඔබට හැම තැනම ගෙන යාහැකි කුඩා කඳවුරු උඳුනක් තිබීම වඩාත් වාසි සහගත වන්නේ මෙවැනි අවස්ථාවකයි.ඒ තුළින් අමතර දර ගෙන ඒම හා ගිනි මැලය ඇවිලවීමට වැඩි කාලයක් ගත කිරීම යන සියල්ලෙන්ම ඔබ මිදෙනවා . කඳවුරු බැඳිය හැකි ස්ථාන මොනවා ද ? අධික සුළං පවතින නිසා සාපේක්ෂව ඉහළ ශක්තියෙන් යුතු කූඩාරමක් රැගෙන ඒම කළ යුතුයි.එසේම කූඩාරම් ගැසීමේ දී එය සුළඟට ඔරොත්තු දෙන පරිදි ලණු සහ කූන්‍ය යොදා ශක්තිමත් ව සකස් කරගත යුතුයි.

ඔබට කඳවුරු බැඳීමට කඳවුරු භූමි පහක් හයක් පමණ තිබෙනවා . අපි තෝරාගත්තේ කඳ මැද පවතින ස්ථානයක් .මෙතුළින් වඩා හොද ඡායාරූප හා පහල නිම්නයේ ඉතා දැකුම්කළු දර්ශනයක් ලබා ගැනීමේ හැකියාව අපට ලැබුණා . ඔබ කන්ද මුදුනේ ම කඳවුරු බඳිනවා නම් සැලකිල්ලට ගත යුතු එක් කරුණක් තිබෙනවා. මුදුනේ ම පවතින ස්තූපය ටකරම් හා තුනී තහඩු වලින් සාදා ඇති අතර අධික සුළඟ පවතින අවස්ථාවක මෙම තහඩු ගැලවී ඔබ දෙසට ඒමේ අවධානමක් පවතිනවා.

වඩා හොඳ හොද රාත්‍රී ඡායාරූ සඳහා උපදෙස් මොනවා ද ? 1. ක්ෂීරපථය ඇතුළත් ඡායාරූප ගැනීම සඳහා වඩා පුළුල් කෝණ කාචයක් (wide angle lens) තිබීම වැදගත් . 2. අනිවාර්යෙන්ම Tripod එකක් අරගෙන එන්න . 3. රාත්‍රී කාලයේ දී එහා මෙහා ගමන් කිරීමට උපකාරී වීම සඳහා නිසි ආලෝක ප්‍රභවයක් රැගෙන එන්න.එක්කෝ ටෝච් එකක් නැත්නම් head torch එකක්.

4. වඩා ඉහළ ක්ෂීර පථය සහිත ඡායාරූප ලබාගැනීම සඳහා අඳුර වැටෙන්න කලින් ඡායාරූප කිහිපයක් (test shots ) සඳහා ලබාගන්න.ඒ තුලින් ඔබට ඔබේ ඡායාරූපයෙ රාමුව තුළ පවතින අන්තර්ගතය පිළිබඳව වඩාහොඳ අවබෝධයක් ලබාගත හැකියි . මෙයින් සිදුවන අනි වන අනිත් ප්‍රයෝජනය නම් අඳුරේ එහා මෙහා යෑම ප්‍රථමයෙන් අවට භූමිය හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව ලැබීමයි. 5. අධික ශීතල හා අධික මීදුම නිසා ඔබගේ ඉලෙක්ට්‍රොනික උපකරණ වලට තෙතමනය කාන්දු වීමය අවදානම ඉහළ ඉහළ මට්ටමක පවතිනවා.ඒ නිසා එය අවම කිරීමට අවශ්‍ය උපකරණ මෙන් ම කැමරාවේ කාචය මත දැන් දෙන ජල බිඳිති අයින් කිරීමට රෙදි කැබැල්ලක් ඔබ සතුව තබා ගන්න.එසේම තෙතමනය ඉවත් කිරීමට යොදාගන්න සිලිකා ගන්නා සිලිකා ජෙල් වැනි පැකට් කීපයක් ඔබ ළඟ තබා ගැනීම නුවණට හුරු දෙයක් . ක්ෂීරපථය පවතින වෙලාවල් සහ වේලාව සහ ස්ථානය පිළිබඳ අවබෝධයක් දැන ගැනීම සඳහා Stellarium වැනි යෙදුමක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

ඔබ කඳවුරු බැඳීමට යොදා ගත් දිනය සඳ සහිත දිනයක් නම් ක්ෂීරපථය සහ රාත්‍රී අහස සහිත ඉහල ඡායාරූපයක් ලබා ගැනීම අසීරු වේ .


night photography පිලිබදව වැඩි විස්තර සහිත ලිපියක් මෙතනින් ඔබට කිවන්න පුළුවන්


ක්ෂීරපථය ඇතුළත් ඡායාරූප ගැනීම පිලිබදව වැඩි විස්තර සහිත ලිපියක් මෙතනින් ඔබට කිවන්න පුළුවන්


හිරු උදාව බලන්න පුලුවන් කීයට ද ?

නාරංගල මුදුනේ සිට හිරු උදාව නිරීක්ෂණය කිරීම ඉතා විස්මය පමුණුවන අත්දැකීමක් වන බව නොඅනුමානයි . ඉහළ උන්නතාංශයක පවතින නිසා හිරු උදාව වඩාත් අළුයම් වෙලාවක සිට පටන් ගන්නවා -සාමාන්‍යයෙන් උදේ 5.30 සිට ඔබට හිරු උදාව ඉතා අලංකාරවත් ලෙස නිරීක්ෂණය කරන්න පුළුවන් .



ඔබ ගොඩක් වාසනාවන්ත නම් පහළ නිම්නය සම්පූර්ණයෙන් ම වළාකුළුවලින් වැසී තිබෙන දර්ශනයක් දැක ගන්න පුළුවන් .සම්පූර්ණයෙන්ම වලාවන් වලින් වැසී ඇති නිම්නයත් ඒ අතරින් ඇති උස් කඳු මුදුන් කීපයක් සමග දිස් වන්නේ, ඉහල අහසේ පියාසර කරන ගුවන් යානයක කවුළුවකින් පිටත බලන ලෙසටයි .

උදෑසන 6.45 පමණ වන විට මේ චමත්කාර දර්ශනය සම්පූර්ණයෙන්ම අවසන් වන අතර එතැන් පටන් උෂ්ණත්වය මෙන්ම ආලෝකය ද ඉතා තීව්‍ර ලෙස වැඩි වීමට පටන් ගන්නවා .


ඉතින් මෙතනින් අප ගේ බ්ලොග් සටහන අවසාන වනවා. අප සිතනවා මෙය ඔබට ඊළඟ සංචාරය සඳහා උපකාරී වූවා කියා .එනමුත් වැදගත් දේවල් කිහිපයක් සඳහන් කරන්න ඕනි අවසන් වශයෙන් .

පලවෙනි දේ තමයි නාරංගල තරණය කරන විට හා කඳවුරු බඳින විට අවට පරිසරයට අවම හානියක් කරන ලෙසට වග බලා ගැනීමයි . එසේම සැම විටම ගෙන යන සියලුම අපද්‍රව්‍ය ඔබ සමඟ නැවත පහලට ගෙන ඒමට වගබලා ගන්න .කිසිම අපද්‍රව්‍ය කන්ද මුදුනේ තබා ඒමට ක්‍රියා කරන්න එපා කඳුමුදුනේ අපද්‍රව්‍ය හෝ අබලි තිබේ නම් එය පිරිසුදු කර දැමීමට ඔබත් දායක වන්න . තවත් ත්‍රාසජනක අත්දැකීමක බ්ලොග් ලිපියක් සමග නැවතත් හමුවෙමු .

About The Roving Nomads.

Roving Nomads is a long time dream project : one we thought up many years ago . Both of us came to get to know each other through our travel pictures (and ended up tying the knot) We love traveling to places off the beaten track and to experience the vibrance and hues of a destination at it’s roots.

Roving Nomads is a platform to share our adventures and forays into the vast wide world. The passion and inspiration of being a nomad at heart is what we wanted to share with others whom have the irrepressible drive, thirst and desire to see new horizons.

Read More

 

Hello Nomads!
Join our Mailing List

© 2018 project roving nomads    www.therovingnomads.com   Colombo, Sri Lanka