• therovingnomads

රාජස්ථානයේ ජායීපූර් නුවර සොයා - 01 කොටස

Updated: May 14


ඉන්දියාව තුල සංචාරය කිරීමට අදහස් කල අපට සංචාරය කලහැකි ගමනාන්ත විශාල ගණනක් සලකා බලන්න සිදුවුවා .ඒ අතුරෙන් රාජස්ථාන් ප්‍රාන්තයට අපගේ වැඩි කැමැත්තක් තිබුනා කිවහොත් නිවැරදියි.. සංස්කෘතිය හා ඉතිහාසය සම්මිශ්‍රණය වූ , චමත්කාරජනක (ශුෂ්ක )භූ දර්ශනයත්, තේජාන්විත බලකොටුවලින් පිරී තිබීමත්, ඒ තීන්දුවට ඍජුවම හේතු වූවා . එබැවින් අපි රාජස්ථාන් ප්‍රාන්තයේ සතියක් ඇතුළත ජයපූර්, ජෝද්පූර් සහ උදයපූර් යන විචිත්‍රමත් නගර ආවරණය කිරීමට සැලසුම් කළා. සමුච්චිත දුර කිලෝමීටර් දහසකට වඩා වැඩි අගයක් ගත්තා.

අපගේ ඉන්දීය සංචාරයේ පෙරවදන මෙතනින් කියවන්න පුළුවන්. අපි ගමන අරන්භ කලේ කටුනායක ගුවන්තොටුපොලින් . පැය දෙකක පමණ ගුවන් ගමනකින් අනතුරුව අප උදැසනම නවදිල්ලි ගුවන්තුටුපොලට ලගවූවා . එතනින් තවත් ගුවන් ගමනකින් ජයිපුර් දක්වා ගුවනින් ගමන් කල අප දෙදෙනා දහවල් කාලයේදී ජයිපූර්හි අපගේ ගමනාන්ත හෝටලයට පැමිණියා. මෙලස ගුවනින්ම අප ගමන් කලේ , අපට ඇති සීමිත කාලය තුල උපරිම ලෙස සංචාරය කිරීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙනයි.මේ නිසා අලුයම 3ට පමණ ගමන් ආරම්භ කල අපට දහවල් 12 වන විට කොළඹ සිට කිලෝමීටර් 2500ක් පමණ දුරින් වූ ජයිපූර් වෙත ලගාවීමට හැකිවුණා .



අපි ජයපූර් සංචාරය කිරීමට තෝරාගෙන තිබුනේ දෙසැම්බර් මාසයයි - එනම් රාජස්ථාන් ප්‍රාන්තයට ශීත ඍතුව බලපැවැත්වෙන කාල සමයකයි. ශීත ඍතුවේ දී දහවල් උෂ්ණත්වය අඩු අගයල පවතින අතර , සෙසු කාල වල මෙන් දරාගත නොහැකි ලෙසකට පවතින්නේ නැහැ . එනමුත් උදෑසන හා රාතියේදී තියුණු සීතලක් පවතිනවා - අපි සිටි දින කීපයේ හිමිදිරි උදැසන උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කට පමණ බැස තිබුණා . ඒ සිතල සමග නුවරඑළිය සිතල ලගින්වත් තැබිය හැක්කක් නොවේ -මහා කාන්තාර හා ශුෂ්ක පරිසරයක මෙතරම් සීතලක් කොහෙන් එනවාද කියා සිතාගැනීමට නොහැකි තරම්ය.



සිසිල් කාලගුණයේ එකම හොදකි . එනම් මහා දහවල පවා දහඩියෙන් තෙතබරිත නොවී නිදහසේ ඇවිදීමට හැකිවීමයි. එහෙයින් රාජස්ථාන් ප්‍රාන්තයේ සංචාරය කිරීමට ඇති හොදම කාලය මේ ශීත ඍතුවයි . දැඩි හිරුරෂ්මියෙන් ඔබ ගැලවී සිටයද සීත ඍතුව නිසා මුහුණපෑමට සිදුවන වෙනත් ආකාරයේ උපද්‍රව ඇත - මේවා නම් අපි හොදහැටි විදගතිමු .එකක් නම් සම හා තොල් පැලී යාමයි . විශේෂයෙන්ම මෙය මට අත්දකින්ට සිදුවූ වඩාම අතිශය වේදනාකාරී අත්දැකීමයි. හිමිදිරි උදැසනම මා අප නවාතැන් ගත් හෝටලයෙන් නිකම , අසල ඇති වීදි තුල කැමරාවද ඇතැතිව විදිසන්චාරය කල බැවින් මාගේ තොල් පැලී හා මුහුණේ සම පොතු පිටින් යාමට පටන් ගත්තේ දෙවැනි දවසේ සිටයි.


එපමණක් නොව , අධික සිතල හා අඩුම අඩු ආර්ද්‍රතාව නිසා බලන බලන තැන තිබෙන පස් පැවතියේ අල්ලට ගත් කල කුඩුවෙන පරිද්දෙනි. පයට , කුරට හා රෝද වලට හසුවූ පස් , මනාව කුඩුවී හමන සුළගත් සමග බලන බලන තැන දූලි ඇතිරිල්ලක් මෙන් ඝනට පැතිරී තිබුණි. රාතියේදී අප හෝටලයට පැමිණ මුහුණ සෝදාගන්නා විටදී මේකප් දියවන ලෙසකට එම දුහුවිල්ල සැරටම පැවතියේය. අප ඇදුම් පවා අමුතු ධූලි සුවදක් මෙන්ම දිනය අවසානයේ දිස්වූයේ , ඒවා ලග පවුඩර් පෙට්ටියක් පුපුරා ගිය ලෙසකිනි. සපත්තු වල නම් පාට නොපෙනෙන තරමටම දූලි වලින් වැසී තිබුණි. හොද මොයිස්චරයිසර් ක්‍රීම් හා ලිප් බාම් ඔබ සමඟ තබා ගැනීම අත්‍යාවශය , නැතහොත් ඔබට වේදනාකාරී පිපුරුණු තොල් හා හමයන මුහුණක් ( විෂශයෙන්ම නහය) අනිවාර්යෙන්ම (නොමිලේ) ලැබෙනු ඇත.

ඔබ ඉන්දියාවේ සංචාරය කරන විට ඔබගේ ජංගම දුරකතනයට එරට සිම්පතක් ලබා ගැනීම තුලින් මහත් පහසුවක් සැලසේ . මෙය ඔබට අන්තර්ජාල පහසුකම් වෙත පිවිසීමට සහ වඩාත් වැදගත් ලෙස uber Cabs හා ගූගල් maps භාවිතයට මං සලසයි.එරට සිම් පතක් ලබා ගැනීම විදි කීපයකට කල හැක - එක්කෝ ඔබ පළමුව ගොඩබාන ගුවන්තොටුපොලින් සිම් පතක් ගත හැකිය , නැතහොත් අප මෙන් ( අපට දිල්ලි සිට ජයිපුර් වෙත තිබු ඊලග ගුවන්ගමනට වැඩි වෙලා තිබුනේ නැති නිසා) ගමනාන්ත නවාතැන් පොළ තුලින් සිම් පතක් ගත හැක- එනමුදු මතක තබා ගත යුතු කරුණ නම් මෙය ගමනාන්තයට ලගාවීමට පෙර මනාව සැලසුම්කර යුතු බවයි. අපගේ හෝටලයේ හිමිකරු විසින් අපට සිම්පත ලබාගැනීමට අවශ්‍ය කටයුතු පිළියෙල කර තිබු අතර ඔහුගේ උපදෙස් අනුව අප අසල වෙළඳසැලකට ගියෙමු (ඔහු මේ සදහා හෝටලයේ මගපෙන්වන්නෙකු පවා අපට ලබා දුන්නේය - ඒ හේතුවෙන් සිම්පත ගැනීමට අමතරව , අපට නගරය හා පාරවල් පිළිබධව මුලික අදහසක් ලබාගැනීමටද හැකි විය. ).

සිම්පත සඳහා අපට රුපියල් 600 ක් වැය වූ අතර ඔවුන් විදේශ ගමන් බලපත්‍ර පිටපතක් , කුඩා විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූපයක් (මෙය පෙර සුදානම් කර රැගෙන ගියෙමි ) සහ අපගේ හෝටලයේ තොරතුරු ලබා ගත්තා . අප ගත්තේ 1GB පමණ ප්‍රමාණයක දත්ත දිනකට පවතින පැකේජයක් සහිත සිම් පතකි. එය අපහට අවශ්‍ය ප්‍රමාණයට හොදටම සෑහුනේය ( දත්ත අරපරිස්සමෙන් පාවිච්චි කළෙමු - සමාජ මාධ්‍ය හා දුරකථන ඇමතුම්, ඒ වගේම විවිද අමතර සෙවුම් සදහා අප පාවිච්චි කලේ හෝටලයේ තිබූ වයි-ෆයි සම්බන්ධතාවයි .

ඉන්දියානු සිම් එකක් සක්‍රිය කිරීමට පැය 48 කට වඩා වනවා , එබැවින් පළමු දින දෙකේ ගුගල් මැප්ස් වැනි දේ සඳහා අපි යොදාගත්තේ අප හෝටලය සහ ආහාර ගැනීමට ගිය අවන්හල් වල වයිෆයි පහසුකම් . ඊට අමතරව අපි සංචාරය කිරීමට බලාපොරොත්තු වූ නගරයේ ඕෆ්ලයින් මැප් බාගත කොට තබා ගෙන තිබු නිසා එතරම් ගැටලුවකින් තොරව අපට අවශ්‍ය ස්ථාන වලට යාමට අපට හැකිවුණා.

එය නගරයේ අපගේ පළමු දිනය වූ බැවින් මුලින්ම අපට වීදිවලට ගමන්කිරීම තරමක් අමාරු වුණා - මොකද අලුත්ම අලුත් කිසිදාක නොගිය නගරයක් වගේම වෙනත් සංස්කෘතියක් නිසා ( විෂශයෙන්ම භාෂා ගැටලුව අපට තිබ්බා). ඒ නිසා අපි පැමිණීමට පෙර, මනා ලෙස සංචාරය සදහා පෙර සුදානමක් කර තිබුනා කිවහොත් නිවැරදියි. ගූගල් සිතියම් හරහා (අප ගමන් කල යුතු මාර්ග) , ඒ වගේම විවිධ සංචාරක වෙබ් අඩවි , බ්ලොග් , ඒ වගේම පෙර ගියපු සංචකයන්ගේ සටහන් ඇසුරු කර අප අපගේ සංචාරක සටහන් ( ඒ වගේම ඒ ඒ ස්ථාන සදහා යොදාගතයුතු උපදෙස් මාලාවක්) සදා ගෙන තිබුනා . අපි හෝටලයට ආ ගමන් කල මුල්ම දෙයක් වුනේ මේ සටහන් හෝටලයේ කාර්ය මණ්ඩලයේ සහායද ලබාගෙන වඩාත් යාවත්කාලින වගේම ඔවුන්ගෙන් ගන්න පුළුවන් ප්‍රායෝගික උපදෙස් ලබාගන්න එකයි. අපි අපේ හෝටලය තෝරාගෙන තිබුනේ ජායිපුර් නගරයේ බොහොමයක් සංචාරක ස්ථාන වලට ඇවිදින දුරකින් පවතින ලෙසටයි. මේ නිසා මුල් දිනයේදී පවා තිබු සීමිත කාලය තුල පවා නගරය ගවේෂණය කිරීමට හා නගරය ඉස්සෙල්ලාම අත්දැකීමට එය හොඳ ක්‍රියාවලියකි. රෝස නගරය ලෙස නම් කර තිබුණද, ජයිපූර්හි විශේෂිත ගෘහ නිර්මාණ ශිල්පය සහිත ගොඩනැගිලි පුරාම තිබුනේ ගුරු සහ තැඹිලි පැහැයකි . මෙම වර්ණ සංකලනයන් ඇසට ප්‍රියජනක දසුනක් මවාපායි .


ජයිපූර් නගරය වචනයෙන් පරිසමාප්තාර්ථයෙන් නගර සැලැස්මක් ඇතුළත් ව අරමුණක් සහිතව සාදන ලද මුල්ම ( ඉන්දීය ) නගරයක් වන අතර එය ජායිපුර් වල විදි අතර ගමන් කිරීමේදී මනාව පසක් වනවා . වීථි මනාව සකසා ඇති අතර ඔබ ප්‍රධාන මාර්ග අතර ඇවිදින විට දෙපස පදික වේදිකා වල වර්ණවත් හා ප්‍රීතිමත් සාප්පු තිබෙනවා . සැමවිටම ගාලු නගරය මෙන් බළකොටුවක සිටිය විටදී ඇතිවන හැගීමක් යම් ලෙසකින් දැනෙනේ නිතැගින් .

එනමුදු ගාලු නගරය මෙන් තදින් ඇහිරී නොමැති මුත් සෑම තැනකම පාහේ ඇති , ඇතුලට සහ පිටතට යාමට ඉඩ සලසන විශාල දොරටු හා පවුරු නිසා ඔබ සුන්දර බලකොටු නගරයක සිටින බව හා පොහොසත් ඉතිහාසයකින් අනුන නගරයක සිටින බවක හැඟීම සහ ප්‍රබෝධමත් බවකුත් එය තුලින් ඔබට ලබා දෙනවා අපගේ මුල්ම නැවතුම වූවේ සුප්‍රසිද්ද හවා මහල් ගොඩනැගිල්ලයි.

හවා මහල් පිහිටා ඇත්තේ ජයිපූර් නගර මධ්‍යයටම වන්නට වන අතර එය අපන් නවාතන් පොලින් විනාඩි 10 ක් පමණ දුරින් විය, නමුත් අපි එහි යාමට මිනිත්තු 30 ක් පමණ ගත කළෙමු - නගරය මුල්වරට අත්දකින අප හෙමින් හෙමින් වීදී ඔස්සේ අවට නරබමින් පැමිණි නිසාවෙනි. 1799 දී ඉදිකරන ලද හවා මහල් නොහොත් සුළං මාළිගාව නිමකරන ලද්දේ එවකට ජයපූර්හි මහාරාජා වන සවායි ප්‍රතාප් සිං විසිනි . නගර මධ්‍යයේ ඇති මාළිගාවේ කාන්තා නිල නිවාසයේ කොටසක් වන මෙය කවුළු රාශියක් සහිතව නිමවා තියෙනවා .

හවා මහල් වල ඇති මෙම කුඩා කවුළු තුලින් රාජකීය සභාවේ කාන්තාවන්ට, පහල විදියේ ගමන් කරන පිරිස් වලට නොපෙනෙන ලෙස නගර වීදි (සහ වීදිවල පෙරහැර) නැරඹීමට අවස්ථාව සැලසී පැවතිනි. අලංකාර හා සංකීර්ණ ලෙස සරසා ඇති ව්‍යුහය , මහාමාර්ගය අසලම පිහිටා ඇති අතර එය නෙත් පිනායන දසුනකි. හවා මහල් සංකීර්ණය තට්ටු පහක් උස වන අතර කුඩා ජනේල දහසකට ආසන්න ප්‍රමාණයක් (ජාරෝකා ලෙස හැඳින්වේ) ඇති අතර සුදු පැහැ පිටත මායිමක් සහිතව සංකීර්ණ ගරාදි මෝස්‌තර වැඩ වලින් සරසා ඇත. මෙම සංකීර්ණය රෝස පැහැති වැලි ගල් වලින් නිමවා ඇති අතර, සුදු පැහැ මායිම් නිසා ගොඩනැගිල්ලේ උත්කර්ෂවත් බව තවත් වැඩි කරයි. මෙම සංකීර්ණයේ ඇති විශාල කවුළු ගණන හේතුවෙන් ගිම්හානයේදී පවතින උණුසුම සමනය කිරීම සඳහා ස්වාභාවික වාතාශ්‍රය සපයයි.

හවා මහල් වීථියේ සිට දැකිය හැකි පරිදි ප්‍රවේශ පත්‍රයක් අවශ්‍ය නොවේ, හවා මහල් නැරඹීමට ඇති හොඳම ක්‍රමය වීදිවල සිට නොව , ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති ගොඩනැගිලි වල ආපන ශාලා (කැෆේ) සිටයි. ඔබ මෙම කැෆේ වල සිට ඡායාරූප ගැනීමට අදහස් කරන්නේ නම් එම කැෆේ වලට ගොස් අහාර ඇනවුම් කල යුතුය - එසේ නොමැතිව ඉහල තත්වයේ චයාරුවක් ගැනීමට මහත් අපහසුය ; මෙහි වාසිය වන්නේ රසවත් කෑම වේලක් එතැනදීම ලබාගැනිමට හැකිවීමයි.

යා යුත්තේ කිනම් ආපනශාලාවට ද , චායරුප ගතහැකි හොදම ස්ථාන ඇත්තේ කොහිද කියා සවිස්තර ලෙස මීළග බ්ලොග් සටහනෙන් මා ලියා දක්වන්නම් . මිලගට අප ගමන් කලේ සුවිශේෂී නක්ෂත්‍ර සංකීර්ණයක් වන ජන්තර් මන්තර් සංකීර්ණය වෙතයි.


අපූරු ජන්තර් මන්තර් සංකීර්ණය ජායිපූර් නගර මධ්‍යයේ ඇති හවා මහල් ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටා ඇති අතර එහි ටිකට් කවුන්ටරය තිබූ ස්ථානයට යාමට අපි විචිත්රමත් ඓතිහාසික දොරටු කිහිපයක් හරහා ගමන් කළෙමු . බොහෝ සංචාරක ස්ථාන වල මෙන් මෙම ස්ථානයේද බුරුතු පිටින් "ගයිඩ් ලා " සිටි අතර මේ මොහොත දක්වාම ඔවුනගෙන් අපට එතරම් කරදරයක් නොතිබුණි, එනමුත් ජන්තර් මන්ත්‍රයේ දොරටුවට ආසන්නව, ඔවුන්ගේ සේවය අපට ලබා දීමට උපරිම උත්සාහ කළ බොහෝ දෙනෙක් සිටියා . මුලදී එය විනෝදජනක වුනත් සමහර අවස්ථාවලදීනම් එය අපට මත හිරිහැරයක් වුනා : බැරිම තැනකදි අප කලේ සිනාසෙමින් ඔවින්ගේ (ප්‍රශ්නකිරීම්) මගහැර යාමයි.

හින්දි බසින් අප ඉගෙන ගත් වාක්‍ය කිහිපයෙන් එකක් නම් “ස්තූතියි” සහ “නැත” යැයි පැවසීමයි. අපි එය වැඩි වැඩියෙන් භාවිතා කිරීමට පටන් ගත්තා . අපගේ පෙනුම නිසා බොහෝම අපුරු අත්දැකීම් වලට මුහුණ පෑවා යයි කිඉවනම් නිවැරදි : ශ්‍රී ලාංකිකයන් වීම නිසා, අපි බොහෝ දුරට දිස්වූයේ ස්වදේශිකයන් මෙනි. (බොහෝ දෙනා අප දකුණු ඉන්දියානුවන් යැයි වරදිවා හදුනා ගත්තා ) වෙලාවක මෙය අස්වැසිල්ලක් වුවත් යම් වෙලාවක මහා කරදරයක් විය - විශේෂයෙන්ම චයාරූ ගැනීමේදී අප අනෙක් ඉන්දියානුවන් මෙන් දිස්වූ නිසා සිදුවූ අමාරුකම් අපමණය.


" සුද්දන්" හා "සංචාරකයන්ට" මුල්තැන හිමිවූ අවස්ථාවල අපට මගහැරුණු අවස්ථා මෙන්ම , වරක් දෝෂදර්ශනයටද ලක් වූනා - වාසනාවකට අදාළ පූජකවරිය අප එරට අමුත්තන් බව හදුනාගත් නිසා හීන්සීරුවේ තත්වය මගහරවා ගත හැකි වූයේ අප දෙන්නටම හින් දහදිය දම්මටත් පසුවයි. - සබැ ජීවිතයේ උපසිරසි නෑ කියලයි ; ගෝනි ගණන් හින්දි චිත්‍රපට බලා තිබුනත් අපි දන්නා හින්දීයක් නැති බැව් නිසැකව වටහා ගත්තේ එදින තමා.




අපූරු ජන්තර් මන්තර් සංකීර්ණය සමග ඊළඟ බ්ලොග් සටහන තුලින් නැවත හමුවෙමු!

About The Roving Nomads.

Roving Nomads is a long time dream project : one we thought up many years ago . Both of us came to get to know each other through our travel pictures (and ended up tying the knot) We love traveling to places off the beaten track and to experience the vibrance and hues of a destination at it’s roots.

Roving Nomads is a platform to share our adventures and forays into the vast wide world. The passion and inspiration of being a nomad at heart is what we wanted to share with others whom have the irrepressible drive, thirst and desire to see new horizons.

Read More

 

Hello Nomads!
Join our Mailing List

© 2018 project roving nomads    www.therovingnomads.com   Colombo, Sri Lanka